APEC සංවිධානයේ නායකයින්ගේ වාර්ෂික රැස්වීම් පේරු රාජ්‍යයේ දී ආරම්භ වී තිබේ. ආසියා ශාන්තිකර කලාපයේ රටවල් අතර වෙළඳාම ප්‍රවර්ධනය, තාක්ෂණ හුවමාරුව සහ ආර්ථික සහයෝගීතාව ඔස්සේ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමේ අරමුණින් මෙම සංවිධානය ක්‍රියාත්මක වේ. මේ සඳහා ඇමරිකාව, චීනය, ජපානය, රුසියාව සහ සිංගප්පුරුව ආදී ලොව ප්‍රබල රටවල් රැසක් එක්ව සිටී. එබැවින් මෙය ගෝලීය වශයෙන් සාධනීය බලපෑමක් කළ හැකි සාමාජිකයන්ගෙන් යුක්ත එකතුවක් බව පැහැදිලි ය. වර්තමානයේ යුරෝපය සහ බටහිර ආසියා ප්‍රදේශවල යුදමය තත්ත්වයන් දක්නට ලැබුණ ද ආසියා ශාන්තිකර කලාපයේ සාමකාමී වාතාවරණයක් පවතී. එහෙයින් සාමකාමී සංවර්ධනයක් මෙම කලාපය තුළ ස්ථාපිත කිරීමට APEC සහයෝගීතාවය තුළින් හැකි වනු ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විශේෂයෙන්ම ඇමරිකාවේ නව ජනාධිපතිවරයා විවිධ බදු වර්ග සහ ඩොලරය භාවිත කරමින් ආරක්ෂණවාදී ක්‍රියාවලියක් දියත් කර ඇති තත්ත්වයක් තුළ චීනය, ජපානය සහ බ්‍රිතාන්‍ය ඇතුළු භාණ්ඩ ආනයනය, අපනයනය මෙන්ම තාක්ෂණය හුවමාරු කරන රටවලට විශාල අභියෝගයක් එල්ල වෙමින් පවතී. එවැනි තත්ත්වයක් තුළ සියලු පාර්ශ්වයන් නව වෙළඳපොල සොයා ගනිමින් නව ආකාරයකට මෙම අවස්ථාවට මැදිහත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.
3M යනු සිංගප්පුරු විද්වතකු වන kishore mahbubani ඉදිරිපත් කළ වර්තමාන ලෝකයේ පවතින ප්‍රධාන සංකල්පයකි. එයට අනුව බහුවිශ්වීය එනම් බහු ශිෂ්ටාචාර සංකල්පය තුළ ලෝකය ඉදිරියට යමින් සිටී. ඇමරිකාව මෙන් නොව චීනය වසර හාරදහසකට වඩා පැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන රාජ්‍යයකි. එමෙන්ම මේ කලාපයේ තිබෙන දැවැන්ත ශිෂ්ටාචාර රාජ්‍යය ලෙස ද චීනය හැඳින්විය හැක. මෙම බහුවිධ ශිෂ්ටාචාර සමග තනි එක් සුපිරි බලයක් වෙනුවට බහුවිධ ලෝකයක් බිහි වී ඇත. ඒ සඳහා මේ කලාපයේ විශාලම ආර්ථික එකමුතුව ලෙස ආසියාන් සංවිධානයත්, ඊට අමතරව G20 සහ BRICS සංවිධානයත් විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටී. තවදුරටත් ලෝකය ඉදරියට ගමන් කරනුයේ මෙවැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් තුළ බව ද හෙතෙම සඳහන් කරයි.
ඇති වෙමින් පවතින නව සීතල යුදමය තත්ත්වය වෙනුවට සාමකාමී සහජීවනය ඉදිරියටත් ආසියා ශාන්තිකර කලාපය තුළ පවත්වා ගෙනයමින් සංවර්ධනය සහ තාක්ෂණ සහයෝගීතාව ද ඊට සමගාමීව ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියාසිටී.